• චීන රජයේ ආධාර මත නිවාස ඒකක 1,996ක්...
  • අඩු ආදායම්ලාභීන්ට සහ කලාකරුවන්ටත් නිවාස...

පසුගිය වසරේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති මෙම වසරේදීත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.


රට ආර්ථික අර්බුධයකට මුහුණදී සිටින බැවින් මහා භාණ්ඩාගාරයට බරක් නොවී එම නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.


ඒ අනුව කලාකරුවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ව්‍යාපෘති පහක් යටතේ නිවාස ඒකක 1,996ක ඉදිකිරීම් කටයුතු මෙම වසර මුලදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.


මෙම නිවාස ඉදිකෙරෙන්නේ චීන රජයේ ණය ආධාර වැඩසටහන යටතේයි. චීන රජය යුවාන් මිලියන 552ක ණය ආධාර මුදලක් ප්‍රදානය කරන අතර ඒ සඳහා වන ගිවිසුම පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා අත්සන් තබා ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඒකක 1,888ක් සහ කෘතහස්ත කලාකරුවන් සඳහා නිවාස ඒකක 108ක් ඉදිකෙරෙන බවයි. පෑලියගොඩ, මහරගම, මොරටුව, දෙමටගොඩ ප්‍රදේශවල මෙම නිවාස ඉදිකෙරෙන අතර කලාකරුවන් සඳහා වන නිවාස ව්‍යාපෘතිය කොට්ටාව ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.


චීන රජයේ නියෝජිතයන් සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මේ සඳහා වන සඛ්‍යතා අධ්‍යනයන් සිදුකර තිබේ. නිවාස ඉදිකිරීමේ සැලසුම් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදුකර ඇත.


මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල ගිවිසුමේ දළ පිටපතක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබේ. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය හා මුදල් අමාත්‍යංශයේ යෝජනා චීන රජයේ මෙම වැඩසටහන සඳහා පත්කර ඇති සමාගම වෙත පසුගිය නොවැම්බර් මාසයේදී යොමුකර ඇත.