මියන්මාරයේ සිට ඉන්දුනීසියාව බලා යමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයින් 209 දෙනෙකු රැගත් විශාල යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අනතුරට ලක්ව ඇති බව මෙරටට පැමිණ සිටින සරණාගතයින් පිරිසක් ප්‍රකාශ කළා.


ගැඹුරු මුහුදේදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගත් රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර තිබෙනවා.

2017 වසරේ මියන්මාරයේ අර්බුදයත් සමඟ රොහින්ග්‍යා සරණාගතයින් පිරිසක් බංග්ලාදේශයේ සරණාගත කඳවුරකට පැමිණ තිබුණා.

වසර ගණනාවක් එහි රැඳී සිටි ඔවුන් පිරිස ඉන්දුනීසියාවට යාමට බංග්ලාදේශයේ මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් මාර්ගයෙන් පසුගිය ඔක්තෝබර් 30 වැනිදා දියඹට ගොස් තිබෙනවා.

එක් යාත්‍රාවක කාන්තාවන් සහ ළමුන් 109 දෙනෙකු සහ අනෙක් යාත්‍රාවේ කාන්තාවන් සහ ළමුන් 209 දෙනෙකු සිටි බවයි සරණාගතයින් කියා සිටියේ.

පුද්ගලයන් 209 දෙනෙකු රැගත් යාත්‍රාව පසුගිය නොවැම්බර් 15 වැනිදා පමණ ගැඹුරු මුහුදේදී ඇති වූ විශාල කුණාටුවකට හසුවූයේ අනෙක් යාත්‍රාව මෙහෙයවමින් සිටියදී බවයි ඔවුන් පවසන්නේ.

එහිදී පුද්ගලයන් 209 දෙනෙකු රැගත් යාත්‍රාව ගිලී අතුරුදන් වුණා.

අනෙක් යාත්‍රාවද එහිදී කාර්මික දෝෂයකට ලක්විය.

පසුව එම යාත්‍රාවේ සිටි බංග්ලාදේශ නායකයා අමතර කොටස් රැගෙන ඒම සඳහා ඉන්දියාවට යන බව පවසා කුඩා බෝට්ටුවක් ඔවුන් සිටින ස්ථානයට ගෙනැවිත් පළාගොස් තිබෙනවා.

ඒ අනුව මෙම සරණාගතයින් රැගත් යාත්‍රාව මාසයකට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින් තිබූ අතර එය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 17 වනදා ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේදී බේරා ගනු ලැබුවා.

එහිදී ඔවුන් පිරිස කන්කසන්තුරය පොලිසියට භාරදී තිබෙනවා.